top of page

රතු පළතුරු සමූළුව‍


ලෝක රතු පළතුරු සමුළුවට ලෝකයේ හැම තැනකින්ම වගේ රතු පාට පළතුරු ඇවිත් හිටියා. චෙරි මේ සමුළුවේ සභාපති හැටියට මුලසුන අරගෙන හිටියා. රතු මිදි, දෙළුම්, ස්ට්‍රෝබෙරිවලට සමුළුවේ ප්‍රධාන ආරාධිත ආසන තිබුනා. මුලු සභාවම රතු ඇපල්, ඩ්‍රැගන් ෆ්රූට්, පේර, රඹුටන්, බෙරි ගෙඩි වර්ග කිහිපයක් හා ලොවි ගෙඩිත් වර්ග ගණනාවකින්ම හිටියා.

මේ සභාවෙ පොඩි පොඩි ගෙඩි අතරට එකපාරටම ආපු ලොකු ගෙඩියක් ගැන මුලින්ම පොඩි කසු කසුවක් පටන් ගත්තා.... ඒ ලොකුම ලොකු පැණි පුහුල් ගෙඩියක්. සමහරු එයාට කියුවෙ කොමඩු කියලා. කසුකුසුවට හේතු වුනේ ඒක ලොකුම ලොකු කොලපාට පැණි පුහුලක් වුන නිසයි.

‘‘රතු පළතුරු සමුළුවට කවුද කොලපාට ගෙඩියකට එන්න කියුවෙ.‘‘ අනිත් රතු පළතුරු තරහින් ඇණුම් පද කියාගෙන ගියා. මුලුන් හිමිහිට පටන්ගත්තු ඒ කසුකසුව පස්සෙ පැණි පුහුල්ගෙ මූණටම කියන්න පටන් ගත්තා.

‘’කොලපාට එකා මොකද මෙතන’’. පොඩි පොඩි ලොවි ගෙඩි ටිකක් හයියෙන් කෑගහන්න ගත්තා.

දැන් මුලු සභාවම යොධ කොලපාට පැණි පුහුල්ට බනිනවා දොස් කියනවා එලවන්න හදනවා.

“කොල නෙවෙයි මාත් රතු.... “ සභාවේ සද්දෙ නිසාම පැණි පුහුල් කියපු එක කාටවත් ඇහුනේ නැ.

මේක සමථයකට පත්කරන්න චෙරි සහ දෙළුම් ලොකු උත්සහයක් ගත්තා. පැණි පුහුල්ව බේරන්න හදපු රතු අඹයටත් කවුදෝ ගැහුවා. ඒකෙන් පැණි පුහුල්ට සහයට හිටපු අයත් බය වුනා.

මේ සේරම කතා අහගෙන ඒ දිහා තවදුරටත් බලන් ඉන්න බැරි තරමට හිත් වේදනාවට පත්වුන පැණි පුහුල් ලොකු පිහියක් අරන් බඩ මැද්දෙන් තමන්ව දෙකට වෙන්වෙලා තවත් කැලි කිහිපයකට යන්න පිහි පාරවල් ගහගත්තා. මහා ඝෝෂාවක් වෙලා තිබුන සභාවම නිහඩ වුනා.

‘’එපා කොමඩු.....’’ කියලා කිහිපදෙනෙක් කෑගහනවත් ඒ අතරින් ඇහුනා.

නමුත් ප්‍රමාද වැඩියි. පැණි පුහුල් ශක්තිමත් ඒ වගේම වේගවත්. පැණි පුහුල් දිහා බලාගෙන කෑගහපු අය නිරුත්තර වුනා. පිට පොත්තෙන් කොලපාටට පෙනුනට කොමඩුත් ඇතුලෙන් රතුයි. පිටතින් පේනවට වඩා මමත් ඇතුලෙන් ඔයාල වගේ කියලා අනිත් අයට කියන්න පැනි පුහුල්ට තමන්ගෙ ජීවිතේම පුදන්න වුනා.

ඔවදනක් - අපිත් එක්ක එකට ඉන්න අයගේ පිටතින් විවිධ වෙනස්කම් තියෙන්න පුලුවන්. නමුත් මොන වෙනස්කම් පිටතින් තිබුනත් අපි හැමෝම ඇතුලතින් එකම ජාතියක මිනිස්සු. හැගීම් දැනීම් අපි හැමෝගෙම එක වගේ. ඒක තේරුම් ගත්තොත් අපට වගේම අනිත් අයටත් ලස්සන ජිවිතයක් ලැබේවි.

කතාව හදලා පළකෙරුවේ - රෙවෝ නිර්මාණ කණ්ඩායමයි

Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
bottom of page