ගස් සුරැකීමට කඩදාසි භාවිතය අවමකරමු!

කඩදාසි යනු බොහෝ ඈත අතීතයක්‌ ඇති නිෂ්පාදනයකි. yperus papyrus යනු ඊජිප්තුවේ නිම්න ආශ්‍රිත ව බහුලව ඇති ශාක විශේෂයකි. මේ ශාකයේ නම ඇසුරෙන් "paper" යන නාමය සෑදෙන්නට ඇති බව විශ්වාස කෙරෙයි. මුල් ම කාලයේ, එනම් ක්‍රිස්‌තු පූර්ව 2400 දී පමණ ඊජිප්තුවේ Cyperus papyrus ශාකයේ පුෂ්පයේ නටුව කොටස්‌වලට පැලීම මගින් ලැබෙන කොටස්‌ තැලීම හා වියළීමෙන් ලැබෙන පතුරු, ලිවීමේ හා ඇඳීමේ කටයුතු සදහා භාවිත කරන ලදි. මේ ලිවීමේ පතුරු එකල papyrus ලෙස හඳුන්වන ලදි.



පළමු වරට කඩදාසි නිපදවීම ගැන සදහන් වනුයේ ක්‍රිස්‌තු වර්ෂ 105 දී ය. චීන අධිරාජයකු ගේ විනිශ්චය සභාවක සේවය කළ Ts'ai-Lum නම් චීන ජාතිකයකු විසින් මුල් වරට කඩදාසි නිපදවන ලද බව විශ්වාස කෙරෙයි. මේ කාලයට පෙර ද චීන ජාතිකයන් කඩදාසි නිෂ්පාදනය කළ ද, මුල් වරට ඒ පිළිබද ලිÅත සාධකය වන්නේ Ts'ai-Lum විසින් කඩදා


සි නිෂ්පාදනය කොට චීන අධිරජයා වෙත සපයන ලද බවට වන සිදුවීම ය.

මුල් අවධියේ කඩදාසි නිෂ්පාදනය සදහා තන්තු සහිත ශාක කොටස්‌ ජලයේ පොඟවා එය යාන්ත්‍රික ව පල්පයක්‌ බවට පත් කිරීම ප්‍රථම පියවර විය. ඉන්පසුව එම පල්පය, පතුල රෙදි කඩකින් ආවරණය කරන ලද හතරැස්‌ ලී අච්චුවක්‌ තුළට වත් කිරීම මගින් ශාක තන්තු තුනී ස්‌තරයක්‌ ලෙස ඇතිරීම සිදු කරන ලදි. මේ තුනී ස්‌තරය වියළීම මගින් කඩදාසි තනාගන්නා ලදි. දැව පල්ප යොදාගනිමින් කඩදාසි නිෂ්පාදනය හදුන්වා දෙන ලද්දේ කැනේඩියානු ජාතික Charles Fenerty විසිනි. ඒ ක්‍රි. ව. 1838 දී ය. ඉක්‌බිති ව 1856 දී එංගලන්ත ජාතිකයන් දෙපළක්‌ වන Healey සහ Allen විසින් කාඩ්බෝඩ් (corrugated paper) නිපදවීම සදහා පේටන්ට්‌ බලපත්‍රය හිමි කරගන්නා ලදි. කඩදාසි පිගන් නිෂ්පාදනය 1904 දී සහ කඩදාසි කෝප්ප නිෂ්පාදනය 1908 දී ආරම්භ විය.


ලෝකයේ ජනගහනය වැඩිවීම සාපේක්ෂව කඩදාසි භාවිතය දිනෙන් දින වර්ධනය වේ. 20 වැනි සියවසේ දෙවැනි භාගයේ දී ලෝක කඩදාසි පරිභෝජනය හය ගුණයකින් පමණ ඉහළ ගොස්‌ ඇත. 2009 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව ලෝකයේ භාවිත කළ කඩදාසි ප්‍රමාණය ටොන් මිලියන 371ක්‌ පමණ වී ඇත. මේ අතරින් අඩක්‌ පමණ ප්‍රමාණයක්‌ ඇසුරුම් ද්‍රව්‍ය සඳහා යොදාගැනේ.

2009 වර්ෂයේ දී ලෝකයේ ඒකපුද්ගල වාර්ෂික කඩදාසි පරිභෝජනය කිලෝග්‍රෑම් 54.71ක්‌ පමණ විය. සැම භාණ්‌ඩයක මෙන්ම මේ අගය දියුණු රටවල අධික වූ අතර දියුණු වන රටවල අඩු විය. නිදසුනක්‌ ලෙස ගත හොත් උතුරු ඇමෙරිකාවේ හා යුරෝපයේ එය පිළිවෙළින් කිලෝග්‍රෑම් 229ක්‌ හා 178.9ක්‌ පමණ විය. එහෙත්, ආසියාවේ හා අප්‍රිකාවේ මේ අගය කිලෝග්‍රෑම් 41ක්‌ හා 7.51ක්‌ පමණ විය. මෑත කාලයේ ඇති වූ ආර්ථික අවපාතය නිසා ඇමෙරිකාවේ හා යුරෝපීය රටවල කඩදාසි පරිභෝජනය අඩු වී ඇති අතර චීනයේ භාවිතය ඉහළ ගොස්‌ ඇත.

කඩදාසිවල පරිසර සලකුණ

කඩදාසි නිෂ්පාදනය සැලකිය යුතු පාරිසරික බලපෑමක්‌ සහිත ක්‍රියාවලියකි. කඩදාසි නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නා කෙඳි ප්‍රමාණයෙන් 55%ක්‌ අලුත් දැවවලින් (virgin wood) ලබාගනු ලැබේ. කඩදාසි ටොන් එකක්‌ නිෂ්පාදනය සඳහා දැව ටොන් 2ත් 3.5ත් අතර ප්‍රමාණයක්‌ අවශ්‍ය වේ. මේ හැර ප්‍රතිචක්‍රිකරණය කළ (recycled හෝ

recovered fibre ) කෙඳි 38%ක්‌ හා පිදුරු, උණ හා තෘණ වැනි දැව නො වන කෙඳි වර්ග (nonwood fibre) 7%ක්‌ පමණ කඩදාසි නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය ලෙස යොදාගැනේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් ලෝකයේ කාර්මික භාවිතයට ගනු ලබන දැව අතරින් 42%ක්‌ කඩදාසි නිෂ්පාදනය සඳහා යොදාගැනේ. ඉන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ පැරැණි හා ද්විතීයික ස්‌වාභාවික වනාන්තරවලින් හෙළනු ලබන ගස්‌ වීම ගැටලුවක්‌ ඇති කර තිබේ. වන විනාශය සඳහා කඩදාසි කර්මාන්තය සැලකිය යුතු බලපෑමක්‌ සිදු කරයි. මේ නිසා ඇතැම් රටවල් කඩදාසි නිෂ්පාදන ආනයනය කිරීමේදී ඒවා තිරසර ලෙස කළමනාකරණය කළ වනාන්තරවලින් (වන වගා වැනි) නිපදවන ලද බවට සහතිකයක්‌ අවශ්‍ය වේ.

එසේම කඩදාසි නිෂ්පාදන ක්‍රියාවලිය බොහෝ පරිසර දූෂක විශාල ප්‍රමාණයක්‌ පරිසරයට එක්‌ කරන ක්‍රියාවලියකි. කඩදාසි හා පල්ප නිෂ්පාදන ක්‍රියාවලිය ලෝකයේ පරිසර දූෂණය අධික කර්මාන්ත අතන් එකකි. ඝන අපද්‍රව්‍ය, අපජලය මෙන්ම වායු දූෂණයද මේ අතර වේ. සාම්ප්‍රදායික කඩදාසි විරංජන ක්‍රියාවලියේදී භාවිතවන ක්‌ලෝරිනීකෘත රසායන ද්‍රව්‍යද පරිසර දූෂණයට හේතු වේ. මේ නිසා ක්‌ලෝරීන් නොමැති කඩදාසි (chlorine free) සඳහා වෙළෙඳපොළ ඉල්ලූමක්‌ද ඇතිවී තිබේ. එසේම කඩදාසි කම්හල් ආශ්‍රිතව සිදු වූ ජල දූෂණය සම්බන්ධ සිදුවීම් අපට බොහෝ රටවලින් අසන්නට ලැබේ.

කඩදාසි කර්මාන්තය යනු ලෝකයේ වැඩිම ජල පරිභෝජනයක්‌ සහිත කර්මාන්තයකි. එක්‌ කඩදාසි ටොන් එකක්‌ නිපදවීමට ජලය ලීටර් 321-2602 ක්‌ අතර ප්‍රමාණයක්‌ පමණ වැය වන බව ගණන් බලා ඇත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් A 4 ප්‍රමාණයේ එක්‌ කඩදාසියක්‌ නිපදවීම සඳහා ජලය ලීටර 2ත් 13ත් අතර ප්‍රමාණයක්‌ වැයවේ. මේ ප්‍රමාණ වෙනස්‌ වන්නේ දැව වර්ග හා රට අනුව වන අතර අලූත් දැව පමණක්‌ යොදාගන්නේ නම් භාවිත වන ජල ප්‍රමාණය තවත් ඉහළ වේ.


එසේම ලෝකයේ සමස්‌ත බලශක්‌තියෙන් 4%ක්‌ හෙවත් කාර්මික බලශක්‌ති පරිභෝජනයෙන් පහෙන් පංගුවක්‌ කඩදාසි කර්මාන්තය සඳහා යොදාගැනේ. කඩදාසි නිෂ්පාදනයේදී හා ප්‍රවාහනයේදී ද නිකුත්වන හරිතාගාර විමෝචන ප්‍රමාණයද ඉහළය.


ඉවතලන කඩදාසි ප්‍රමාණය විශාලය. ලෝකයේ ඝන අපද්‍රව්‍ය අත§න් 17%ක්‌ පමණ කඩදාසි හා බෝඩ් වර්ග වේ. කාබනික හැරුණු විට දෙවැනි තැනට එන අපද්‍රව්‍ය කාණ්‌ඩය කඩදාසි වේ. සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල ඝන අපද්‍රව්‍යවලින් 6%ක්‌ පමණ කඩදාසි වේ. මෙසේ අපතේ යන කඩදාසි නැවත භාවිත කිරීමට හෝ ප්‍රතිචක්‍රියකරණය කළ හැකි සම්පතකි. කඩදාසි ප්‍රතිචක්‍රිකරණය යම් පරිසර දූෂණයක්‌ ඇතිකරන නමුත් එය අලූත් අමුද්‍රව්‍ය යොදා කඩදාසි නිපදවීමට වඩා පරිසර හිතකාමී වේ. නිදසුනක්‌ ලෙස ගතහොත්, ප්‍රතිචක්‍රිකරණය කරන ලද කඩදාසිවල ජලපියසටහන හා බලශක්‌ති පරිභෝජනය අඩුය.

තිරසර කඩදාසි භාවිතයක්‌ සඳහා කරුණු කිහිපයක්‌


මේ කරුණු අනුව කඩදාසි තිරසර ආකාරයෙන් භාවිත කිරීම සඳහා අපටද කළ හැකි දේ ඇති බව පෙනේ. එවැනි පියවර කිහිපයක්‌ පහත සඳහන් වේ.


* කඩදාසි භාවිතය අවම කිරීම – කඩදාසි වෙනුවට ඉලෙක්‌ට්‍රොනික මාධ්‍ය භාවිත කළ හැකිය. සටහන් තබාගැනීම මෙන්ම පොත්පත් කියෑවීම සඳහාද පරිගණක වැනි ඉලෙක්‌ට්‍රොනික මාධ්‍ය යොදාගත හැකිය.

* කඩදාසි භාවිත කළ යුත්තේ අවශ්‍ය අවස්‌ථාවල පමණි.

* හැම විටම කඩදාසිවල දෙපැත්ත භාවිත කළ යුතුය. මෙමගින් අපේ කඩදාසි භාවිතය අඩක්‌ කළ හැකිය. නිදසුන් වශයෙන් (ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයින් ලක්ෂ 40ක් පමණ ඇත. ඔවුන් එක් අයෙක් දිනකට ඒ4 කොලය බැගින් අපතේ යැවීමක් සිදුකරන්නේ නම් දිනකට ඒ4 කොල ලක්ෂ 40ක් ඍජුවම අපතේ යැමක් සිදුකරයි. ඉහත අප විසින් ලබාදුන් දත්ත අනුව එය කොතරම් විශාලා ධන හානියක්ද සහ පරිසර විනාශයක් දැයි දැන් ඔබට පැැහදිලි වෙනු ඇත)

* මුද්‍රණයේදී හා ලිවීමේදී කඩදාසිවල දෙපැත්තම භාවිත කිරීම.

* එක්‌ පැත්තක්‌ භාවිත කළ කඩදාසි කටු සටහන් සඳහා යොදාගැනීම.

* භාවිත කළ කඩදාසි ප්‍රතිචක්‍රියකරණය සඳහා යොමු කිරීම – පුවත්පත්, ලියන කඩදාසි, කාඩ්බෝඩ් හා කඩදාසි පෙට්‌ටි ආදි බොහෝ කඩදාසි වර්ග ප්‍රතිචක්‍රියකරණය කළ හැකිය.

*කැලිකසල වර්ග කිරීමේදි කඩදාසි පුච්චා දැමීමකින් තොරව වර්ග කර ප්‍රතිචක්‍රීකරණයට ලබාදීමත් තවත් වැදගත් කරැණකි.

* ප්‍රතිචක්‍රියකරණය කළ කඩදාසිවලින් යුක්‌ත කඩදාසි හා කඩදාසි නිෂ්පාදන භාවිත කිරීම – ඇතැම් නිෂ්පාදනවල පසුභාවිත කඩදාසි කෙතරම් භාවිත කර තිබේද යන්න සඳහන් කර තිබේ.

කොහොම වුනත් අප අවම කඩදාසි ප්‍රමාණයක් භාවිතා කරනවා නම්, මුද්‍රණය කරන ප්‍රමාණය අවම කරනවා නම්, හැකි තාක් කඩදාසි ප්‍රතිචක්‍රිකරණය කොට ඒවා පාවිච්චි කරනවා නම් එයින් තුරුලතා, ජලය වගේම බලශක්තියත් ඉතිරි වෙන බවත් අප දැන ගත යුතු ම කාරණයක්.


පරිසරය සුරැකිමට ඔබ අමුතුවෙන් යමක් කළ යුතු නැත ඉහත දැක්වූ කරුණු අනුව කඩදාසි භාවිතාය පාලනය කිරීම මගින් ඔබ විශාල පරිසර ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියකට නිහඩවම දායකත්වය ලබාදී ඇත. සැම විටම මේවා මතක තබාගෙන අන් අය දැනුවත් කිරීමද ඔබ සතු පුරවැසි යුතුකමකි.

Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic

Call Now  : 0715 418 199

Email      : info@revo.lk

  • Facebook Social Icon
  • YouTube Social  Icon
  • Blogger Social Icon
  • Instagram Social Icon
  • LinkedIn Social Icon
  • Twitter Social Icon

Site Map

Home       Services      Portfolio       About       Contact      News

    Career       Policy  

Copyrights 2020 ©  All rights reserved

revo - revolution advertising agency™® 

(Name & Trade Mark has been registered)

Web Design by:

revo team